Skip to main content

රුවන්වැලි මහා සෑ රදුන් උදෙසා සිදු කල කිරි ආහාර දානමය පිංකම

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ පින්වත් මිතුරු කැල විසින් 2022/1/22 දින හිමිදිරි උදෑසන රුවන්වැලි මහා සෑ පුණ්‍ය භූමියෙහි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරඡාණන් වහන්සේ උදෙසා ආදර ගෞරවයෙන් පූජා කල කිරි ආහාර දානයෙහිලා රැස් කරගත් පුණ්‍ය සම්භාරය මෙලෙස අනුමෝදන් කරමු..

එදින භාග්‍යවතුන් වහන්සේ උදෙසා හීල දානය ලෙස, පෙරදින රාත්‍රියෙහි පටන් වෙහෙස මහන්සි වී ප්‍රණීත ලෙස සකස් කරන්නට යෙදුනු කිරි ආහාර දානය, මිහිරි පල වැල, පිරිසිදු සිසිල් පැන්, නා නා ඖෂධයන්, රස කැවිලි, සුවද මල්, සුවද දූම්, සහ පිරිකර ලෙස අලංකාර ලෙස සකස් කරන ලද රන්වන් පාත්‍රය, ශ්වේත වර්ණ මුතු කුඩය, රන්වන් පාවහන් යුගල, රන්වන් වටාපත සහ තවත් බොහෝ සෙසු පිරිකර ආදර ගෞරවයෙන් පූජා කලෙමු.. බුදුරජාණන් වහන්සේ වනාහි පමණ කළ නොහැකි ගුණ ඇති සේක.. අසමසම වන සේක.. යමෙක් භාග්‍යවතුන් වහන්සේ නා නා අයුරින් පුදන්නේද එහිලා විපාක ආයුෂ්මත් පිළින්දිවච්ඡ මහ තෙරුන් වහන්සේගේ ගාථා වල ‌මෙසේ සදහන්ව ඇත්තේය….

• • • • • • • • • • • •
❂ “බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධාන වූ සංඝයා කෙරෙහිද වස්ත්‍ර දී මාගේ එම කර්‍මයට සුදුසු වූ අනුසස් අනුභව කරමි. “ස්වර්‍ණ වර්‍ණ වූයේ, රජස් රහිත වූයේ, ප්‍රභා සහිත වූයේ, ප්‍රතාපවත් වූයේ භවයෙහි සැරිසරන්නාවූ මාගේ සිරුර සිනිඳු වේ. “සුදුවන්වූ ද, කහවන් වූ ද, ලෙහෙවන් වූ ද සිය දහස් වස්ත්‍රයෝ මාගේ මස්තකයෙහි (හිසට) දරත්. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.

❂ “බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද පාත්‍ර දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි. “රන්තලිද, මිණිතලිද, රිදී තලිද, පියුමරාමිණිමුවා තලිද, හැම කල්හි පරිභෝග කරමි. “උවදුරු රහිතවූයේ, විපත් රහිතවූයේ, හැම කල්හි (සියල්ලන් විසින්) පුදන ලදුයේ වෙමි. ආහාරපාන, වස්ත්‍ර, සයනාසන ලබන්නෙක්ද වෙමි. “මාගේ භෝගයෝ විනාශ නොවෙත්. මම නැවතුනාවූ සිත් ඇත්තේ වෙමි. හැම කල්හි ධර්‍මය කැමති වෙමි. කෙලෙස් නැතිවූයේ, ආශ්‍රව රහිතද වෙමි. “දෙව් ලොවෙහිද, මිනිස් ලොවෙහිද මෙකී ගුණයෝ මා අනුවම ගියාහුය. ගසේ සෙවන (ගස නොහරින්නාක්) මෙනි. සියළු තන්හිදී මා අතහැර නොදමන්නාහුය.

❂ “බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද ඡත්‍රයන් පුදා, මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.“ශීත හෝ ඌෂ්ණය හෝ නොදනිමි. දැළි කුණු නොතැවරේ. උවදුරු විපත් නැතිවේ. හැම කල්හි පුදන ලද්දෙක් වෙමි.“සියුම් සිවි ඇත්තේ වෙමි. සිත පිරිසිදුවේ. භවයෙහි සැරිසරන්නාවූ මට මෙම ජාතිය හැර අනික් හැම ජාතියකදීම එම කර්‍මයාගේ බලයෙන් සියළු අලංකාරයන්ගෙන් යුක්තවූ විසි දහස් ගණන් කුඩ මාගේ හිසට දරත්. මේ ජාතියේ මාගේ ඡත්‍රධාරණයක් (කුඩ දැරීමක්) නැත්තේ මන්ද? මා විසින් කරණ ලද සියළු කර්‍මය විමුක්ති ඡත්‍ර ලාභයට (නිවන් ලැබීමට) හේතුවූ බැවිනි.

❂ “ශොභනවූ, (චිත්‍ර ලෙස කළ) විජිනිපත්ද, (තල්කොළයෙන් කළ) වටාපත්ද, බුදුරජුන් කෙරෙහිද, (උතුම් සඟ ගණ කෙරෙහිද), දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.“ශීතෝෂ්ණ නොදනිමි. (සිරුරෙහි හෝ සිතෙහි) දාහයක් නැත. මාගේ කාය චිත්ත සන්තාපයක් නොදනිමි.  “මාගේ ඒ කුශල කර්‍මයාගේ විපාකයෙන් රාගාග්නිය, ද්වේෂාග්නිය, මානාග්නිය, දෘෂ්ඨි අග්නිය යන සියළු අග්නීහු නිවී ගියාහුය.

❂ “බුදුරජුන් කෙරෙහිද බෙහෙත් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි. “ආයුෂ ඇත්තේ, බලවත්වූයේ, චිරගුණ ඇත්තේ, වර්‍ණවත්වූයේ, කීර්තිමත්වූයේ, සැප ඇත්තේ, උවදුරු රහිතවූයේ, හැම කල්හි (අනුන් විසින්) පුදන ලදුයේ වෙමි. එම පුණ්‍ය කර්‍මයාගේ ඵලයෙන් මට ප්‍රිය විප්‍රයෝග දුකක් නැත.

❂ “බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පාවහන් දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි. “හස්ති අශ්ව යානද, සිවිකා (දෝලා) සන්‍දමානික යන යානයෝද, සැට ලක්‍ෂයක් මා හැමකල්හිම පිරිවරත්. “භවයෙහි සැරිසරන්නාවූ මට පියවරක් පාසා මැණික්වලින් කරණ ලද්දාවූද, රුවණින් කරණ ලද්දාවූද (පාවහන්) නිපදිත්. 

❂ “බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගිතෙල් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි. “හැමකල්හි පිනාගිය සිරුරින් හටගත් බලය ඇත්තේ, රූමත්වූයේ, නීරෝගීවූයේ, පැහැදුනු (ප්‍රකට) කෙනෙක් වෙමි. ගිතෙල් දනෙහි මේ විපාකයයි.

❂ “බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ආහාර පාන දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි. “මම ආයු ඇත්තේ, බල ඇත්තේ, නුවණැත්තේ, වර්‍ණවත්වූයේ, පැණවත්වූයේ, හැම කල්හි භවයෙහි සැරිසරන්නේ මෙම ගුණ ලබමි.

❂ “බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද සුවඳ දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් ලබමි.“මම කුදු මහත් වනයෙහි සැරිසරන්නේ, සුවඳවත් සිරුරු ඇත්තේ, කීර්තිමත්වූයේ, යශස් ඇත්තේ, සීඝ්‍ර තීක්‍ෂණ භූරි හාසු ගම්භීර ප්‍රඥා ඇත්තේ, විපුලවූ ජවන ප්‍රඥා ඇත්තේද වෙමි. එම පුණ්‍ය කර්ම බලයෙන්ම දැන් ශිවවූ ශාන්ති සුඛයටද පැමිණියේ වෙමි.

━ • පිළින්දවච්ඡ ථෙරාපදානය • ━

• • • • • • • • • • • •

මූල්‍යමය ආධාර දරමින්, ශ්‍රම දායකත්වයෙන්, පින්කම දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙම්න් සහ නන් අයුරින් සහ සම්බන්ධ වූ කළණ මිතුරු ඔබ සැමට මෙම උතුම් පින්කමෙහිලා රැස් වූ පුණ්‍ය සම්භාරය එක ලෙස අනුමෝදන් වෙත්වා ! සුව සේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත්, පරලොව සුගතිය පිණිසත්, සසර දුකින් නිදහස් වීමටත් හේතු වාසනා වේවා….